එල් ටී ටී ඊ සංවිධානය සමග පැවති යුද ගැටුම්වලදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කවර ආකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ ප්‍රකාශය පැසසිය යුතු බව නීතිවේදි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසිවාරය ඊයේ අමතමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළා. විදේශ කටයුතු අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමිනුයි. මහකොමසාරිස්වරයා එම වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දී නොමැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ ස්ථාවරය ප්‍රශංසනීය බවයි නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දුන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදී කරුණු දැක්වූවා. ඒ සම්බන්ධයෙන්ද නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අදහස් පළ කළා.