Thursday, May 2, 2024

General line - 0115112241

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් සේවා අරඹයි

ටී කේ ජී කපිල




තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

වසර 10 ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මෙරටට පැමිණ ඇත්තේ මාලදිවයින හරහායි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මෙම ඍජු ගුවන් ගමන් සේවා සදහා පැය 08 ක කාලයක් වැය වන අතර සෑම සතියකම සඳුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05යි 40 ට තුර්කියේ සිට මෙරටට පැමිණෙන මෙම ගුවන් යානා, නැවත උදෑසන 07යි 40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලා පිටත් වීමට නියමිත බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එළඹෙන 2024 වසරේ සිට සතියේ දින 07ම මෙම තුර්කි ගුවන් සේවා යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙලෙස ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමඟ තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වන බවයි සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ගුවන් තොටුපොළ තුළ පැවති පිළිගැනීමේ උත්සවයේ දී පැවසුවේ.

මෙම ගුවන් යානය පිළිගැනීමේ උත්සවයට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ක්ෂේත්‍රයට අදාළ විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.