Friday, May 3, 2024

General line - 0115112241

යුද හමුදාව හැර ගොස් සිටින පිරිසට සේවයෙන් ඉවත් වන්න අවස්ථාව




නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් අද සිට මසක කාලයක්  එලෙස පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි යුද හමුදාව පැවසුවේ.

පසුගිය අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසුනිළයින් අදාළ ලිපි ලේඛණ සමගින්  තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් වාර්තා කල යුතුයි.

එලෙස සේවයෙන් ඉවත්වීමට අපේක්ෂාවෙන් සිටින යුද හමුදා සාමාජිකයින් යුද  හමුදා හැඳුනුම්පත, එය අස්ථාන ගත වී ඇත්නම් පොලිස් වාර්ථාවක පිටපතක්, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායා පිටපතක්, අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායා පිටපතක් රැගෙන ආ යුතු වනවා.

පසුගිය වසර 05ක කාලය තුළ සේවයට වාර්තා කර නොමැති යුද හමුදා සාමාජිකයින් ගණන 25,000කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.