Friday, May 3, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන්  සිව්දෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට




මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන්  සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

එහි  වටිනාකම රුපියල් මිලියන හත හමාරක් පමණ වන බවද සදහන්.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර  වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනියුක්තව රාජකාරී සිදුකරන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනෙකු ද වන බවයි පොලීසිය වැඩිදුරටත්  පැවසුවේ.

මේ අතර කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක්  සන්තකව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර තිබිය දී එය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු ලුහුබැඳ ගොස් සිදු කළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.

ඔහු පසුගිය 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා තිබුණා. එහෙත් පොලිස් කොස්තාපල්වරයා නව සේවා ස්ථානයට වාර්තා කර නැහැ

මේ අතර කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක් තුල සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ  නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 32 ක්, ජංගම දුරකතන 04 ක් සහ රුපියල් දෙලක්ෂ 20,000 ක මුදලක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි තොගයක්  සන්තකව සිටි සැකකරුවෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.