Saturday, May 4, 2024

General line - 0115112241

පාසල් වෙත නිකුත් කළ සහල් ගැන පැහැදිලි කිරීමක්




පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව ජනාධිපති කාර්යාලයේ ලෝක ආහාර වැඩසටහනේ සහයෝගිතාව සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය පවසනවා.

ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් එය නිර්දේශ කර ඇත්තේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින් බවයි එම කාර්යාලය පැවසුවේ.

එලෙස ආයතන කිහිපයක් මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් යළි පරීක්ෂා කර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත්, මෙම සහල් තොගය මැයි 01වනදාට පෙර භාවිතා කිරීමට හැකිවන පරිදි සැලසුම් කරන ලෙසත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සහල් තොගය මධ්‍යම ගබඩාවෙන් අදාළ පළාත් වෙත නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියෙක් සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මඟින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති බවද එම ලේකම් කාර්යාලය පැවසුවේ.

එලෙස නිල අත්සනින් තහවුරු කිරීමෙන් පසුව පමණක් සහල් තොග අදාළ පළාත් වෙත නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන්වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොගය මැයි 31 වැනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවට ද නිර්දේශ කර ඇති බව එම ලේකම් කාර්යාලය පැවසුවා.

දිවයින පුරා පාසල්වලට බෙදා හරිනු ලබන සහල් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වේයන්ගොඩ ගබඩාවේ තිබූ සහල් කෘමි හානියකට ලක්ව ඇති බවට එම ගබඩාවෙන් ලබා ගත් සහල් සාම්පලවලින් අනාවරණ වී ඇති බවයි.