Saturday, May 4, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි - දෙදෙනෙකු මරුට




මොරගහහේන පොලිස් වසමේ පුවක්වත්ත මංසන්ධිය ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද අලුයම 02ට පමණ අදාළ ත්‍රීරෝද රථය මීගොඩ, බෙරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී නතර කිරීමට එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් අණ කළ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් පොලිස් මාර්ග බාධකය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

එම ස්ථානයේ සිටි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අවට පිහිටි පොලිස් ස්ථාන සහ ජංගම මුර  සංචාරක රථ වෙත දැනුම් දීමක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අදාළ ත්‍රීරෝද රථය මොරගහහේන දෙසට පලා යන අවස්ථාවේදී බස්නාහිර පළාත් - දකුණ, අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක්ද මොරගහහේන ප්‍රදේශයේ වැටලීමකට ගොස් සිටි අතරතුර එම ත්‍රීරෝද රථය ලුහු බැඳ තිබෙනවා.

අදාළ ත්‍රීරෝද රථයේ සිටි අයෙකු මොරගහහේන පුවක්වත්ත මංසන්ධිය ආසන්නයේදී බස්නාහිර පළාත් - දකුණ, අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ටද වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එහිදී පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාරයකින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හොරණ රෝහලේ තැන්පත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.