Saturday, May 4, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට මොරගහකන්ද ප්‍රදේශයේදී පොලීසියෙන් වෙඩි - දෙදෙනෙකු මරුට




මොරගහහේන පොලිස් වසමේ පුවක්වත්ත මංසන්ධිය ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද අලුයම 02ට පමණ අදාළ ත්‍රීරෝද රථය මීගොඩ, බෙරකැටිය හංදිය අසල පොලිස් මාර්ග බාධකය අසලදී නතර කිරීමට එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් අණ කළ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

අනතුරුව එම ස්ථානයේ සිටි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අවට පිහිටි පොලිස් ස්ථාන සහ ජංගම මුර සංචාරක රථ වෙත දැනුම්දීමක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

අදාළ ත්‍රීරෝදරථය අවස්ථාවේදී මොරගහහේන ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් - දකුණ, අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට එම පණිවිඩය ලැබී තිබෙනවා.

එම නිලධාරීන් පලා යමින් තිබූ ත්‍රීරෝදරථය ලුහු බැඳ ඇති අතර එම ත්‍රීරෝද රථය මොරගහහේන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ලුහු බැඳ පැමිණි පොලිස් ජීප් රථය අදාළ ත්‍රීරෝද රථය ආසන්නයට පැමිණෙනවාත් සමග ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු ජීප් රථය දෙසට වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි වැදී හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

එහිදී වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සූරියආරච්චිලාගේ ඉමේෂ් ධනුෂක දර්ශන සහ 42 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන සුරාජ් ප්‍රබෝධ හෙට්ටිආරච්චි නමැති පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය පැවුසවා.

මෙම සිද්ධියෙන් මිය ගිය 36 හැවිරිදි ඉමේෂ් ධනුෂක දර්ශන නමැත්තා ලියාපදිංචි අපරාධකරුවෙකු බවට ලේඛනගතව සිටින අයෙකු බවත් යුධ හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බවටත් තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සුරාජ් ප්‍රබෝධ නමැත්තා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව ඇති අයෙකු බවත් කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි අයෙකු බවත් පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් විසින් වෙඩි තැබීම සඳහා භාවිත කළ පිස්තෝල අවිය අදාළ ත්‍රීරෝද රථය අසළ තිබී සොයා ගැණුනු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.