Saturday, May 4, 2024

General line - 0115112241

අපරාධකරුවන් සොයා යාල වනයේ දින 05ක STF මෙහෙයුමක්




සැඟවුනු අපරාධකරුවන්, නීති විරෝධි ක්‍රියා සිදුකරන්නන්, නීති විරෝධි ගිනි අවි සහ දඩයක්කරුවන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් දින පහක් පුරා යාල රක්ෂිතයේ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල, සියඹලාණ්ඩුව සහ පස්සර යන කඳවුරු එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම මෙහෙයුම සඳහා අති නවීන ඩ්‍රෝන කැමරා තාක්ෂණය සහ විශේෂ පුහුණුව හදාරන ලද සිය බලකායේ චීටා බලකා නිලධාරීන්ද එක් කර ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

මෙම මෙහෙයුමේදී රහසිගතව යාල අධි රක්ෂිතය තුළ වගා කර තිබූ  ගංජා හේන් අක්කර හයකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

අඩි නමයක් උස ගංජා ගස් තුන් ලක්ෂ 46,000ක්, රුසියාවේ නිෂ්පාදනය කරන ලද ගිණි අවියක්, දේශීය නිෂ්පාදනය කළ ගිණි අවි 02ක් සහ වියලි ගංජා කිලෝ ග්‍රෑම් 30.450ක් ද මෙම වැටලීමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී යාල රක්ෂිතය තුළ සැඟව සිටි සැකකරුවන් 03 දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් විමර්ශන සඳහා ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.