Saturday, May 4, 2024

General line - 0115112241

ආර්ථිකය ගොඩගැනීම සඳහා දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි 




රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ තොට ළඟ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.


"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් ලබා දෙමින් සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගනිමින් සිටිනවා. 

"System Change" ගැන කතා කරන උදවිය, ජනාධිපතිවරයාගේ මෙම සාධනීය දේශපාලන-ආර්ථික සහ සමාජ වැඩ පිළිවෙළ හමුවේ භීතියට පත්ව මේ ගමන යළි හැරවීම සඳහා විවිධ පටු දේශපාලන සටන් පාඨ කියමින් දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී ලාභ උත්සාහයක යෙදී සිටිනවා.

ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද කියා එක්සත් ජාතික පක්ෂය ලෙස අප මේ අවස්ථාවාදීන්ගෙන් සහ බල ලෝභී අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. 

ප්‍රතිසංසකරණවලින් තොරව "System Change" සිදු නොවන බව කුඩා දරුවෙකු පවා දන්නවා. 

මගේ අදහස නම් රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි. 

ඒ මන්ද මේ සුවිසල් අභියෝගය, වගකීම සහ කාර්යභාරය ජනාධිපතිවරයාට පමණක් තනිවම ජය ගත නොහැකියි. 

ඒ සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකියි.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථාවලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළා. 

ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. 

නමුත් ඒ සඳහා පැමිණි බාධා අති විශාලයි. විවිධ අවලාද නැගුවා. අපට පෞද්ගලිකව පවා සාවද්‍ය චෝදනා එල්ල කළා. 

ඒ චෝදනා අපේ දේශපාලන කටයුතුවලට ඉතාම නරක ලෙස බලපෑවා. 

නමුත් අප අපේ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. ඒ රට-ජනතාව වෙනුවෙනුයි."