Sunday, May 12, 2024

General line - 0115112241

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි




කාම්බෝජයේ හමුදා කඳවුරක ඇති වූ පිපිරීමකින් එරට හමුදා සෙබලුන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එසේම තවත් සෙබලුන් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාළ පිපිරීමෙන් ගොඩනැගිලි හතරක් විනාශවී ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ හේතුවෙන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි නිවාස 25කටද හානි සිදුවී ඇති බවයි.

මිය ගිය සොල්දාදුවන්ගේ අවමංගල්‍ය කටයුතු කඩිනමින් සංවිධානය කිරීමට එරට අගමැතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම පිපිරීමෙන් මියගිය සෙබලුන්ගේ පවුල්වලට මෙන්ම තුවාල ලැබූ සෙබලුන්ටද වන්දි මුදල් ලබා දීමට කඩිනම් පියවර ගන්නා ලෙස එරට අගමැතිවරයා රජයට උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.