Monday, May 13, 2024

General line - 0115112241

අපරාධ ඉහළ යන පකිස්තානය.




ආර්ථික හා  දේශපාලන අර්බුධය මධ්‍යයේ ඉහළ යමින් ඇති උද්ධමනයේ ප්‍රතිපලයක් ලෙස පකිස්තානයෙන් වාර්තා වන අපරාධ ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

ඒ අතර මංකොල්ලකෑම් වාර්තා වීම දිනෙන් දින ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට ආසන්නතම සිදුවීම ලෙස ඉකුත් දා පකිස්තානයෙන් වාර්තා වූයේ මංගල උත්සවයක් අතරතුර බාලවයස්කරුවන් දෙදෙනෙකු සිදු කළ මංකොල්ලකෑමක් පිළිබඳවයි.

මංගල උත්සවය අතරතුර උත්සවය පැවැති මංගල ශාලාවේ විදුලිය විසන්ධි කළ එම බාලවයස්කරුවන් පැමිණ සිටි අමුත්තන්ගේ මුදල් සහ ජංගම දුරකථන පැහැර ගෙන ගොස් තිබුණා.

ඔවුන් එලෙස මිලියන 02 ක පමණ මුදලක් කොල්ල කා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම 2022 සිට 2024 මාර්තු 28 දක්වා කාලය තුළ වීදි අපරාධකරුවන් විසින් කරච්චි වැසියන් 250 කට වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් 1,052 ක් තුවාල ලැබූ බව ද වාර්තා වනවා.

එමෙන්ම පසුගිය වසර තුනක කාලය තුළ ප්‍රචණ්ඩ වීදි අපරාධවල සැලකිය යුතු වැඩිවීමක් ද වාර්තා වන බවයි පකිස්තාන පොලීසිය පවසන්නේ.

ප්‍රචණ්ඩ වීදි අපරාධවල වැඩිවීමට පසුගිය තෙවසර තුළ උද්ධමනය සහ වර්ධනය වන ආර්ථික දුෂ්කරතා ඉහළ යාම හේතු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

අපරාධ ඉහළ යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ පොලිසිය සහ අනෙකුත් පරිපාලකයින් කෙරෙහි ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇති බවයැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් ප්‍රකාශ කළා