Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුළු 10ක පහසු ජයක්




20යි 20 කාන්තා ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලියේදී ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවා කඩුළු 10ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 18යි 01 පන්දුවක් තුළදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවූ කවීෂා දිල්හාරි කඩුලු 04ක් බිඳහෙලූ අතර ඉනෝෂී ප්‍රියදර්ශනී කඩුලු 03ක් බිඳහෙලුවා. 

ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10යි 01 පන්දුවක් අවසානයේදී කිසීවෙකු නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චමරි අතපත්තු පන්දු 35කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබාගත්තා. විෂ්මි ගුණරත්න පන්දු 26කදී ලකුණු 24ක් රැස්කළා.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ පළමු තරඟයද තායිලන්ත කාන්තා ක්‍රීකට් කණ්ඩායම පරදවා ලකුණු 67ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.