Wednesday, May 15, 2024

General line - 0115112241

පුද්ගලයන් තිදෙනෙකුට පහරදුන් වෙන්දේසි පත්ත සුද්දා සහ පයාගල මැහිමුල්ලේ රණා අත්අඩංගුවට

සම්පත් කුලරත්න




කළුතර, වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුද්දා නොහොත් ලහිරු දුලංජ ෆොන්සේකා  සහ මැහිමුල්ල රනා නොහොත්  දිලංක ප්‍රියශාන්ත සිල්වා එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර පසුගියදා ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා තවත් කිහිප දෙනකු සමග පැමිණ තරුණයකුට පහරදී එම නිවසේ බඩු බාහිරායදියට අලාභ හානි කර තිබෙනවා.

එම පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ තරුණයා ඔහුගේ මව විසින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෝහලෙන් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරුවන් විසින් එම කාන්තාවටද පහරදී තිබෙනවා.

ඇයද මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඉන් අනතුරුව අදාළ කාන්තාවගේ පාර්ශවය විසින් පහරදීමට සම්බන්ධ පාර්ශවයේ යැයි සැකකෙරෙන වෙන්දේසිවත්ත ප්‍රදේශයේ නිවසක රැඳීසිටි වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටද තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ.

ඔහුද මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පහර කෑමට ලක් වූ කාන්තාවගේ පාර්ශවය විසින් දකුණු කළුතර පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මැහිමුල්ලේ රනා පයාගල, මැහිමුල්ල  ප්‍රදේශයේ පිහිටි නිවසක් ආසන්නයේ ලදු කැලෑවක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බවද පොලිසිය පැවසුවා.

මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන වෙන්දේසි වත්තේ සුද්දා අද උදෑසන කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කළුතර කටුකුරුන්ද මංසන්ධියේ ලද කැලෑවක සහ මැහිමුල්ලේ රනා පදිංචි නිවස ආසන්නයේ මාර්ගයක් ආසන්නයේ සඟවා තිබියදී පහර දීමට භාවිත කළ තියුණු ආයුධ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.