Wednesday, May 15, 2024

General line - 0115112241

උසස් පෙළ පන්ති ආරම්භ කිරීම ගැන රජයෙන් තීරණයක් ගනී




මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම එම විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව ජුනි මුල් සතියේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වෙනුවෙන් උසස් පෙළ පන්ති  ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය කොවිඩ් සමයේ පාසල් වසා තැබීම හේතුවෙන් අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ එලෙස කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.

එම නව වැඩපිළිවෙලට සිසුන් මෙන්ම දෙමාපියන්ද සිය කැමැත්ත ප්‍රකාශ කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඉදිරියේදී අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.