Thursday, May 16, 2024

General line - 0115112241

හොර පාරෙන් ළමයෙකු එංගලන්තයට ගෙන යාමේ තැතක් වරදී

ටී.කේ.ජී.කපිල




ව්‍යාජ ලියකියවිලි සකස් කර 17 හැවිරිදි ද්‍රවිඩ ජාතික පිරිමි ළමයෙකු එංගලන්තයට රැගෙන යාමට තැත්කළ උත්සාහයක් කටුනායක ගුවන් තොටුපොළේදී ව්‍යාර්ථ වී තිබෙනවා.

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකගේ සහ ඇයගේ පුත්‍රයාගේ තොරතුරු ආශ්‍රයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගනිමින් මෙම ළමයා රැගෙන යාමට තැත්කර ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, එම පිරිමි ළමයා සමඟ  ලන්ඩන් නුවර බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදුකර ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටියදී, එම ගුවන් සේවා නිලධාරිනියන්ට මෙම ලියකියවිලි පිළිබඳව සැකයක් මතුවී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදී ඇති අතර එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කර ඇති බවයි තහවුරුවී ඇත්තේ.

ඉන්පසුව එම ළමයා පසෙකට රැගෙන ගොස් මේ පිළිබඳව විමසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු විසින් මේ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර තිබෙනවා.

සිය නීත්‍යානුකූල මව ඒ වනවිටත් ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැඳීසිටින බවද ඔහු නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීන් ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැඩි ආර්ථික අපහසුතාවලට ලක්ව සිටින තමන් සිය දරුවාගේ අනාගත සුභ සිද්ධිය උදෙසා මෙලෙස විදෙස් ගත කිරීමට උත්සාහ කළ බවයි ඇය නිලධාරින් හමුවේ පවසා ඇත්තේ.

මෙම කාන්තාවන් දෙදෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වන අතර ඔවුන් දෙදෙනාව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එංගලන්තයේ වෙසෙන පුද්ගලයෙකු විසින් තම බිරිඳගේ සහ පුතාගේ තොරතුරු ඇතුළත් කර විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි සකස් කර මෙවැනි ආකාරයට ශ්‍රී ලාංකික පිරිමි දරුවන් එංගලන්තය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටින බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී තිබෙනවා.