Friday, May 17, 2024

General line - 0115112241

වාරණ නියෝගයට එරෙහිව විජේදාසගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

උදය කුමාර




තමන්ට නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස තමන්ට කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා විසින් එම පෙත්සම ඉදිරිපත්කර තිබුණා. 

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය ඉතා හදිසි නඩු කටයුත්තක් බැවින් ඊට අද දින අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

ඔහු කියා සිටියේ මෙම නඩුකරයට අදාළ ලේඛන තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. 

මෙම නඩුකරයට පාදක වන වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ දිසා අධිකරණය විසින් බැවින් එය ඉවත් කරන ලෙස මුලින්ම දිසා අධිකරණය හමුවට ගොස් ඉල්ලීමක් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

එසේ ඉල්ලීමක් නොකොට සෘජුවම අභියාචනාධිකරණය හමුවට පැමිණීමට පෙත්සම්කරුට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.

ඒ අනුව අදාල පෙත්සම  විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම අවස්ථාවේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ තම සේවා දායකයාට එරෙහිව දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය සහ ඊට අදාළ ලේඛන මේ දක්වා තමන් වෙත ලබාදී නොමැති බවයි.

තම සේවා දායකයා එම තොරතුරු දැනගෙන ඇත්තේ මාධ්‍ය හරහා බවත් එම නඩුකරයට අදාල පෙත්සමද ඔහු විසින් ලබාගෙන තිබෙන්නේ මාධ්‍ය වෙතින් බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නා. 

කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළා.