Thursday, May 16, 2024

General line - 0115112241

අරගලය සමයේ ස්ථානමාරු කල පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනා ගැන පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යළි දැනුම් දීමක්

උදය කුමාර




පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවී ඇතිකරගත් එකඟතාවය පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළේ යැයි  ස්ථාන මාරු කළ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකු විසින් ගොණුකර තිබූ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය,  ගාමිණී අමරසේකර සහ ඒ. එච්.එම්.ඩී. නවාස් ගන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි පෙත්සම්කරුවන්ට සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවයි.

ඒ අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපති තුන් දෙනකු එම පොලිස් ස්ථාන භාර ගැනීමට එකඟතාවය පළකිරීමත් සමගම ඔවුන් විසින් ඉදිරිපත් කල පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කළා.

එහෙත් පෙත්සම්කරුවන් දෙදෙනෙකු පොලිස්පතිවරයා විසින් යෝජනා කරන ලද පොලිස් ස්ථාන භාර ගැනීම සඳහා එකඟතාව පළ නොකල අතර ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් සඳහන් කළේ මේ හරහා  සිය තනතුරු පහත හෙලීමක් සිදුව ඇති බවයි.

ඒ අනුව එම පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනාගේ පෙත්සම්  සලකා බැලීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල  නියෝග කළා.