Friday, May 17, 2024

General line - 0115112241

රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායේ ආදායම් ඉහළට




කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ක්‍රියාවලියෙහි ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය, 2024 පළමු කාර්තුවේ දී වාර්තාගත බහාලුම් මෙහෙයුම් ධාරිතාවක් ළඟා කර ගැනීමට සමත් වී තිබෙනවා.

පසුගිය වර්ෂයේ පළමු කාර්තුව තුළදී වරාය අධිකාරිය මෙහෙයවා ඇති බහාලුම් ප්‍රමාණය හාර ලක්ෂ 41,032ක් වූ අතර එය මෙම වසරේ පළමු කාර්තුව තුලදී හය ලක්ෂ 52,766 දක්වා වර්ධනය වී තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී සියයට 48ක වර්ධනයක්.

එමෙන්ම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙම වසරේ පළමු මාස 03 තුළදී ප්‍රතිනැව්ගත බහාලුම් පන් ලක්ෂ 82,403ක් මෙහෙයවා තිබෙනවා.

එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 49යි දශම 8යි 1ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ.

සමස්ත කොළඹ වරාය මෙම වසරේ පළමු මාස 03 තුළදී ප්‍රතිනැව්ගත බහාලුම් දහ හත් ලක්ෂ 29,314ක් සමත් වී තිබෙනවා.

එය පසුගිය වර්ෂයේ අදාළ කාලසීමාව හා සැලකීමේ දී සියයට 24යි දශම 2යි 0ක වර්ධනයක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ් පැවසුවේ දැනට රතු මුහුද ආශ්‍රිතව මැදපෙරදිග කලාපයේ පැනනැගි ඇති යුද අවදානම කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව ඉහළ යාමේ කෙටිකාලීන වර්ධනයට හේතු වී ඇති බවයි.

ඒ අනුව මැදපෙරදිග කලාපය තුළ ක්‍රියාත්මක ඇතැම් ප්‍රධාන නෞකා ජාල මේ වන විට යුද අවදානම් කලාපය තුළ පිහිටා ඇති රතු මුහුද හා සූවස් ඇල මග හැර ඒ සඳහා ආදේශකයක් ලෙස සිය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමට කොළඹ වරාය තෝරාගෙන ඇති බවද ඔහු පැවසුවා.

ඕනෑම ගෝලීය තත්ත්වයකට මුහුණ දීමට කොළඹ වරාය සතු හැකියාව හේතුවෙන් මෙම තත්ත්වය කළමනාකරණය කර ගනිමින් එම වාසිය රඳවා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.