Saturday, May 18, 2024

General line - 0115112241

එළවළු මිල ගැන අලුත් අනාවරණයක්




මෙම වසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.

සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එළවළු හා පලතුරු අස්වනු අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වනවා.

එම නිසා මැයි, ජූනි සහ ජුලි මාසවලදී එළවළු මිල ඉහළයාමක් සිදුනොවන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පැවසුවේ.

එහෙත් මෙවර මහ කන්නයේදී අධික වර්ෂාව නිසා එළවලු වගාව ප්‍රමාද වී ආරම්භ කළ අතර, වර්ෂාවෙන් විනාශ වූ එළවලු වගාවන් නැවත ආරම්භ කිරීම ද සිදුවුණා.

මෙම අස්වනු සියල්ල එකවර පැමිණීම නිසා වෙළෙඳපළේ එළවළු මිල ගණන් සීග්‍රයෙන් පහළ ගිය බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පැවසුවේ. එමෙන්ම හිඟයකින් තොරව එළවළු වෙළෙඳපොලට සැපයීම අඛණ්ඩව සිදුවනවා. 

යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු, පුහුණු හා පර්යේෂණ ආයතනය පැවසුවා. 

කාලගුණික වශයෙන් ඉදිරි කාලය තුළ දැඩි බලපෑමක් සිදු නොවුනහොත් හා දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය එසේම පැවතුනහොත් මෙම වසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ඉහළයාමක් සිදුනොවනු ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. 

මේ අතර ජනතාවගෙන් සියයට 90ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල ගණන් ඉදිරි මාස තුන තුළත් නොවෙනස්ව පවතිනු ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පැවසුවා.

කෙසේවෙතත් කීරි සම්බා හා සම්බා සහල් මිල ගණන්වල යම් ඉහළයාමක් ඉදිරියටත් සිදුවිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම බඩඉරිඟු අස්වැන්න මෙවර ඉහළ ගොස් තිබෙනවා.

බඩඉරිඟු ගොවීන්ට දැනට හොඳ මිලක් ද ලැබී ඇති බවත් මේ වනවිට බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 125ත් 135ත් වැනි මිල ගණන් යටතේ අලෙවි වන බවත් ප්‍රකාශ කෙරුණා.

මැයි සහ ජූනි මාසවල වෙළෙඳපල තුළ එළවලු හා පලතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගයන්හි මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට භාර දෙමින් එම ආයතනය මෙම කරුණු අනාවරණ කළා.