Saturday, May 18, 2024

General line - 0115112241

අධික උෂ්නත්වය ඉදිරි දින කීපයේදී තරමක අඩු වීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්




දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය ලබන 07වනදායින් පසු තරමක අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසකම වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් පවතින උෂ්ණත්ව තත්ත්වය යම්තාක් දුරට අඩුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේ. 


පවතින අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් හැකිතාක් ජලය පානය කරන ලෙස, ශරීරයට යෝග්‍ය සැහැල්ලු ඇඳුම් අඳින ලෙස සහ වැඩිහිටියන්, කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානයක් යොමු කළ යුතු” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතීම ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.  

එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද දිනයේ විටින් විට රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.