Sunday, May 19, 2024

General line - 0115112241

විභාග මධ්‍යස්ථානවල සිදුවන අක්‍රමිකතා අඩු කරන්න විභාග දෙපාර්තමේන්තුවෙන් නව වැඩපිළිවෙලක්




අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු මේවන විටත් සූදානම් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

විභාග මධ්‍යස්ථාන තුළ සිදුවන අක්‍රමිකතා අවම කර ගැනීමට අධීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් යොමුකර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. 


විභාග මධ්‍යස්ථානවල සිදුවන කටයුතු ප්‍රශස්ත අයුරින් සිදුවෙනවාදැයි නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පරීක්ෂකවරයෙකු අතිරේක ශාලාධිපතිවරයෙකු ලෙස පත්කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් පැවසුවා.


මේ අතර විභාග මධ්‍යස්ථාන අවට ආරක්ෂාව වෙනුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් 2,000කට වැඩි ප්‍රමාණයක් යොමුකර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.



විභාග මධ්‍යස්ථාන අවට විභාගයන් පවත්වන කාල සීමාවන් තුළදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් විභාග මධ්‍යස්ථාන අවට සිටින ජනතාවද විභාගයට බාධා නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටියා.