Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වරායන්වල අයිතිය ගැන අගමැති ජපානයට පහදා දෙයි




දකුණු ආසියානු හා බෙංගාල බොක්ක කලාපීය රටවල ජනගහනය ඉදිරි වසර 20 ක කාලය ඇතුළත මිලියන 250 දක්වා ඉහළ නැංවෙන බැවින්, ඒ ජනගහන පදනම ඉලක්ක කර ගනිමින්, සිය අනාගත ආයෝජන හා නිෂ්පාදන සැලසුම් සැකසීම ජපාන රජය පමණක් නොව, ජපාන පුද්ගලික ව්‍යවසායකයන් මත පැවරෙන වගකීමක් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජපාන විදේශ වෙළඳ සංවිධානයේ මූලිකත්වයෙන් ජපාන වෙළඳ සහ කර්මාන්ත මණ්ඩලය, ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුව, ජපානයේ නව බලශක්ති හා කර්මාන්ත තාක්ෂයණ සංවර්ධන සංවිධානය එක්ව පැවැත්වූ මෙම සමුළුවට ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වුණා.

“ගෝලීය පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ කියැවීම හා ජපානයේ වැදගත්කම” (Sri Lankan understanding of Global situation and importance of Japan) මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වමින් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනාගතයේ ලෝකයේ වැදගත්ම කලාපය බවට ඉන්දු ශාන්තිකර සාගර කලාපය පත්වන බවයි.

ජපානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂුන්සුකෙ තකෙයි (Hon Shunsuke Takei)  ඉතා නිවැරදිව සඳහන් කළ පරිදි  “ලෝක වෙළදාමේ පදනම වනුයේ ඉන්දු - ශාන්තිකර සාගර කලාපය” බව අවධාරණය කළ ශ්‍රී  ලංකා අගමැතිවරයා, මේ කලාපයේ නිදහස් සාගර ගමනාගමනය තහවුරු කරලීම සහ සාමය ආරක්ෂාර කිරීම සඳහා ඒ ආශ්‍රිත සියළු රටවල් ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නා.

කලාපීය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වගකීම් සහිතව කැප වන බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ කිසිඳු වරායක්, කිසිඳු අවස්ථාවක විදේශීය රටවල හමුදා කාර්යයන් සඳහා භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත්, ශ්‍රී ලංකාවේ වරායයන්හි ආරක්ෂක වගකීම් පැවරෙනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් බවත් ප්‍රකාශ කළා.

ජපාන ආයෝජකයින් සදහා ශ්‍රී ලංකාවේ සැකසී ඇති පරිසරය පිළිබඳව අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසූවේ ආයෝජකයන් හා ව්‍යවසායකයින් වෙනුවෙන් මිත්‍රශීලී වටපිටාවක් දැන් ශ්‍රී ලංකාව තුළ සකස් කරමින් පවතින බවයි. එක් ආයතනයක් හරහා සියළු කාර්යයන් ඉටු කර ගැනීමට හැකි වන අයුරින් නීති රීති සම්මත කර ගැනීමට ද ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව ඔහු පෙන්වා දී තිබෙනවා.