Friday, May 17, 2024

General line - 0115112241

හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි (PHOTOS) (UPDATE)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කලක් රෝගීව සිටි තමිල්නාඩුවේ මහ ඇමති එම්. කරුණානිධි මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසුවූවා.

මේ වන විට ඔහුගේ සිරුර චෙන්නායි හි පිහිටි කව්වේරි රෝහලේ තබා තිබෙන අතර රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවකද යොදවා ඇති බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වල සදහන්.

පුරා දශක 06 කට වැඩි කාලයක් දේශපාලනයේ නියැලී සිටි කරුණානිධි මහතා තමිල්නාඩුවේ මහ ඇමතිධුරය පස් වතාවක් හොබවනු ලැබුවා. දේශපාලඥයෙක් වශයෙන් පමණක් නොව ඔහු සිනමා තිර රචකයෙක් ලෙස දමිළ සිනමාවේ නමක් දිනු පුද්ගලයෙක් වශයෙන් හැදින්විය හැකි. සිනමා තිර පිටපත් රචනය වෙනුවෙන් ඔහු තැබූ දක්ෂතාවය හේතුවෙන් ඔහුට " කලෙන්ජර් (සිනමාවේදියා)" යන ගෞරව නාමයෙන්ද පුදනු ලැබුවා.

අද (07) රාත්‍රිය වන විට කරුණානිධි මහතාගේ දේහය චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර තබන අතර මහජන ගෞරවය සදහා හෙට (08) රාජාජී ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

මේ අතර ඉන්දිය අගමැති නරෙන්ද්‍ර මෝදී හෙට දිනයේ තමිල්නාඩු හිටපු මහ ඇමතිවරයාට සිය අවසන් ගෞරවය දැක්වීම සදහා චෙන්නායි බලා පැමිණීමට නියමිතයි.


.............................................................................................................................................

කරුණානිධිගේ තත්ත්වය බරපතලයි : ඉදිරි පැය 24 තීරණාත්මකයි

(06-08-2018 23:26)

සතියකට අධික කාලයක් චෙන්නායි හි පිහිටි කව්වේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධිගේ තත්ත්වය බරපතල අතට හැරී ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

රෝහල් බලධාරීන් සදහන් කරන්නේ කරුණානිධිගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවයි.

පවතින තත්ත්වය අනුව ඉදිරි පැය 24 ක කාලය තුලදී ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර වලට ඔහුගේ ශරීරය දක්වන ප්‍රතිචාරය මත ඉදිරි තත්ත්වය ගැන සලකා බැලීමට හැකිවන බවයි රෝහල් බලධාරීන් සදහන් කරන්නේ.

රෝහල් බලධාරීන් පවසන්නේ හිටපු තමිල්නාඩු මහ ඇමතිවරයා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙමින් සිටින බවයි.

ඉකුත් ජුලි 28 වෙනිදා ඔහු රෝහල් ගත කරනු ලැබුවේ මුත්‍රා ආසාධනයක් හේතුවෙන් වුවත් 94 හැවිරිදි ඔහුගේ අක්මාව ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් කිහිපයක ක්‍රියාකාරිත්වය දරුණු පසුබෑමකට ලක්ව ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කර ගැනීමත් සමග නේවාසික ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා.

කරුණානිධි රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ සුවදුක් විමසීම සදහා ඉන්දීය ජනාධිපති, උප ජනාධිපති, විවිධ පක්ෂවල දේශපාලකයින් සහ සිනමා නළුවන් රැසක් පැමිණියා.  

මේ අතර හිටපු මහ ඇමතිවරයා නායකත්වය දරන DMK පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් ඔහු ප්‍රතිකාර ගනු ලබන රෝහල අවට රැඳී සිටින බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.