Friday, May 17, 2024

General line - 0115112241

ඉන්දුනීසියා භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහලට : සුන්බුන් අතරින් මාස 10 ක බිලිදෙක් හමුවෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතට බලපෑ රිච්ටර් ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 347 ක් බව එරට බලධාරීන් නිවේදනය කරනවා. ඊට අමතරව තුවාල ලද පුද්ගලයින් සංඛ්‍යාව 1,447ක් වනවා.

භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 165,000 කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බවයි ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ බලධාරීන් සදහන් කරන්නේ.

කඳු ආශ්‍රිතව පිහිටි ලොම්බෝක් දුපතේ උතුරු කොටසේ ගොඩනැගිලි සහ නිවාස වලින් 80% ක් පමණ හානි සිදුව ඇති බවත් ඇතැම් ස්ථාන වලට ආපදා මෙහෙයුම් වල නිරත නිලධාරීන්ට ලගා වීමටද අපහසුවී ඇති බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් CNN පුවත් සේවය සදහන් කරන්නේ.

ලොම්බෝක් සහ ගිලී දුපත් හි සංචාරයන් සදහා පැමිණ සිටි විදේශිකයින් මේ වන විට එයින් ඉවත් කර ගැනීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර අවසන් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කඩා වැටුණු ගොඩනැගිලි සහ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදුකරන අතර පෙරේදා (07) කඩා වැටුණු දේවස්ථානයක් තුල සිරවී සිටි පුද්ගලයෙක් සහ මාස 10 ක් වයසැති කුඩා බිලිදෙක් ගේ දිවි බේරා ගැනීමට ඔවුන් සමත්වූ බව මාධ්‍ය වාර්තා කර සිටියා.