Friday, May 3, 2024

General line - 0115112241

කරුණානිධිගේ පුටුවට පුතුන් දෙදෙනා අතර සටනක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමිල්නාඩුවේ හිටපු මහ ඇමති අභාවප‍්‍රාප්ත එම් කරුණානිධි දැරූ ඞී එම් කේ පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ඔහුගේ පුතුන් දෙදෙනා අතර මේවනවිට මත ගැටුම් නිර්මාණය වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ කරුණානිධිගේ වැඩිමහල් පුතු වන එම් කේ අලාගිරි සහ බාල පුතු වන එම් කේ ස්ටාලින් අතර මෙලෙස මත ගැටුම් හටගෙන ඇති බවයි. 

කරුණානිධිගේ අභාවයෙන් පසුව හිස්වූ ඞී එම් කේ පක්ෂයේ මීළග නායකයා තෝරා ගැනීම සම්න්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්වෙනවා. ඒ අනුව අලාගිරි පවසන්නේ සිය පියාගෙන් ලද දායාදයක් වන ඞී එම් කේ පක්ෂයේ නායකත්වය දැරීමට තමන් සුදුසු බවයි. එහෙත් පක්ෂයේ බහුතරයක් එම් කේ ස්ටාලින් හට සහය පළ කරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. කරුණානිධිගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ එම් කේ ස්ටාලින් විසින් ඉකුත් වසරේ සිට ඞී එම් කේ පක්ෂය මෙහෙයවනු ලැබුවා. ඒ අනුව පක්ෂය තුළින් ඔහුට දැඩි ප‍්‍රසාදයක් ගොඩනැගී ඇතැයි සඳහන්.

පක්ෂයේ ඇතැම් කි‍්‍රයාකලාපයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් එම් කේ අලාගිරි, ඞී එම් කේ පක්ෂයෙන් නෙරපා හැරියේ 2014 වසරේදීයි. එහෙත් සිය පියාගේ සහය ලැබුණේ තමා හට බැව් පවසන එම් කේ අලාගිරි පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සිය සොහොයුරාටද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.