Sunday, May 12, 2024

General line - 0115112241

වගකීම භාර ගන්න දෙපැත්තම බැහැ කියයි




කුරුණෑගල, හිරියාල, ඇදගල වංගුව දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (03) සිදුවූ අනතුරෙන් මවක් සහ දියණියන් දෙදෙනෙකු මියයාමේ වගකීම දුම්රිය බලධාරින් භාරගත යුතු බව අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ සංගමය පවසනවා.

අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් පෙන්වා දුන්නේ ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප‍්‍රතිචාර නොදැක්වූ නිසා තමන් වර්ජනයක් ආරම්භ කර තිබූ බවයි. අදාළ අනතුර සිදුවූයේ මෙම වර්ජනය කි‍්‍රයාත්මක වෙමින් තිබියදීයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීරගෙන් විමසීමක් කළා. එහිදී හෙතෙම සඳහන් කළේ අමාත්‍යාංශයට එහි වගකීම භාර ගත නොහැකි බවයි. අනතුරේ සෘජු වගකීම අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන් වෙත පැවරෙන බවත් පැවසුවා. ඔවුන් බඳවා ගෙන ඇත්තේ පොලිසියෙන් බවත් වැටුප් ගෙවීම සිදු කරන්නේද පොලිසියෙන් බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් දින කිහිපයක් පුරා කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ අනුව අද (04) උදෑසන 6.00 සිට ඔවුන් යළි සේවයට වාර්තා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.