වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් අතර විශේෂ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.

දිල්ලියට පැමිණි ස්විස් ජනාධිපතිවරයා එහිදී අතිඋත්කර්ෂවත් ලෙස රතු පලස් මතින් පිළිගනු ලැබුවේය.

මෙම සංචාරය දෙරටේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා තැබූ සුවිශේෂී පියවරක් බව පැවසූ ස්විස් ජනාධිපතිවරයා සඳහන් කළේ, ස්විට්සර්ලන්තය, නෝර්වේ, අයිස්ලන්තය සහ ලීච්ටන්ස්ටයින් යන රටවලින් සමන්විත සිව්පුද්ගල යුරෝපීය වෙළඳ සංගමය (EFTA) සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුම අත්සන් කර වසරක් පිරෙන මොහොතක මෙම සංචාරය සිදුවන බවයි.

එම වෙළඳ ගිවිසුම යටතේ යුරෝපීය නිදහස් වෙළඳ සංගමය විසින් ඉදිරි වසර 15 ඇතුළත ඉන්දියාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිතය. මෙම ගිවිසුම හරහා බදු සහන හිමිවන බැවින් ඉන්දීය සමාගම්වලට අදාළ යුරෝපීය වෙළඳපොළවල් හතර වෙත භාණ්ඩ අපනයනය කිරීම පහසු වන අතර, ලොව ජනගහනයෙන් වැඩිම සහ වේගයෙන්ම වර්ධනය වන ඉන්දීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට යුරෝපීය සමාගම්වලටද වැඩි අවස්ථාවක් හිමිවේ.

මෙම හමුවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අගමැති මෝදි, ස්විට්සර්ලන්තය තුළ ඉන්දීය අපනයන සඳහා වෙළඳපොළ ප්‍රවේශය වැඩි කිරීමටත්, දෙරට අතර ආයෝජන ක්‍රියාවලිය වඩාත් සුමට කිරීමටත් සුවිශේෂී තීරණ රැසකට එළඹි බව ප්‍රකාශ කළේය.

එසේම, ඉන්දීය සිසුන්ට සහ වෘත්තිකයන්ට ස්විට්සර්ලන්තය තුළ වැඩි අවස්ථාවන් උදාකර දෙමින් දෙරට අතර ගිවිසුමකටද අත්සන් තබන ලදී.