නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අත්අඩංගුට ගත් පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් වන අතර එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති පුද්ගලයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී ඉන්දීය ධීවරයින් අට දෙනෙකුද සිය හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් අට දෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.