ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිවාර්යයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බව ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා වෙත පොරොන්දු වී තිබෙනවා.
ඒ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජිතයින් හා මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ආරක්ෂණ පනත, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ ක්‍රියාමාර්ග, උතුරු-නැගෙනහිර අවතැන් වූවන් සහ අතුරුදහන් වූවන් පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
ඊට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කළ බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හමු වී තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බවයි.