විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09යි 30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 10 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව අද දිනයේ කැඳවා තිබෙනවා.

ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද පස්වරු 4යි 30 දක්වා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව යළි ජූලි මාසයේ 8, 9 සහ 11 යන දිනවල රැස්වීමට නියමිත බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.