රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩිතැබීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇතැම් වාර්තාවල පළ වන්නේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු බවයි.

මෙම වෙඩි තැබීම සිදු වූයේ කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් පැය 24ක් යන්නටත් පෙරයි.

කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කඳාන පොලිසිය ඉදිරිපිටදී ටී-56 ගිනි අවියකින් ඊයේ උදෑසන 10ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙනයි.

එම මෝටර් රථයේ ගමන් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර නැමැත්තාට ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුව තිබුණා.

එහිදී මිය ගියේ මෝටර් රථයේ සිටි අනෙක් පුද්ගලයායි.