රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කළා.

ඒ, මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බවයි.

එම ලේඛන ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද කියා සිටියේ මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවයි.

එහි සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවයි ඔහු එහිදී කියා සිටියේ.

ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසත් සැප්තැම්බර් මස 26 වන දින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා.

එම නඩු කටයුත්තට එක්වීමෙන් අනතුරුව පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.