හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වනවා.

විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

මීට ආසන්නතම හේතුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් අනුරාධපුරයේ පැවැති මහජන රැස්වීමකදී පළ කළ අදහසක්.

එහිදී ඔහු පවසා තිබුණේ නාමල් රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වූ විට තමන් නිල නොවන ජනාධිපති වන බවයි.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මෑත කාලීනව සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවයි.

ඒ අනුව හෙට දිනයේදී තිස්සකුට්ටි ආරච්චි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට කැඳවා ඇති බවද වාර්තා වනවා.