රුපියල්  හාර කෝටි හැට නව ලක්ෂ නවසිය හතලිහක මුදලක් පැහැරගත් සැකකරුවන් තිදෙනෙකු පැය 24ක් ගතවීමට මත්තෙන්, අත්අඩංගුවට ගැනීමට කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපාරික ආයතනවල දෛනික එකතු වන මුදල් එකතු කර ගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාර දීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවෙකු, තවත් දෙදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

මෙම මුදල් භාරකරු, සිය රියැදුරා සමග මෝටර් රථයකින්, කිඹුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාර ගැනීම සදහා ගොස් තිබෙනවා.

එහිදී කටියල පළතුරු කම්හලට හැරෙන මංසන්දියේ දී තම මුදල් රැගත් මෝටර් රථය, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු හරස් කර මුදල් රැගෙන පළා ගිය බවට මුදල් භාරකරු පැමිණිල්ලක් සිදු කළ බවයි පොලීසිය පැවසුවේ.

මුදල් භාරකරු එසේ පැමිණෙන අතරතුර, අතරමගදී තවත් මෝටර් රථයක රියැදුරුවරයෙකු සමග කිසියම් කතාබහක නිරත වන ආකාරය ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

මුදල් භාරකරු අතරමග දී කතා කළ මෝටර් රථය, මුදල් භාරකරු ගමන් ගත් මෝටර් රථයේ රියැදුරුවරාගේ ඥාතී සොහොයුරෙකු බවත්, ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය වූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සැකකාර මුදල් භාරකරු, ඔහුගේ රියැදුරා සමග ඔහුගේ ඥාතී සොහොයුරු රියැදුරා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොහොයුරු නිවසෙහි තිබී පැහැර ගත් බවට සදහන් කළ මුදල ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.