රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකරු රුපියල් 50000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නා.
ඊට අමතරව සැකකරු විමර්ශන කටයුතු සඳහා සහාය විය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම පැමිණිල්ල කැපවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ 39 ක් සටහන් කර ගෙන තිබෙන බව සඳහන් කළා.
ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා ප්‍රකාශ 14 ක් සටහන් කර ගෙන ඇතැයි සඳහන් කළ එම නිලධාරියා මෙම සැකකරු ගේ බිරිඳගේ සහ බිරිඳගේ මවගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් කියා සිටියා.
ඊට අමතරව සැකකරුට අයත් දේපළ පරිශ්‍ර 05 ක් පරික්ෂාවට ලක් කළ අතර මෙම සැකකරු විසින් අනාවරණය නොකළ වත්කම් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙන බවත් සඳහන් කළා.
ඒ යටතේ අනාවරණය නොකළ මාතර ප්‍රදේශයේ පිහිටි ඉඩමක්, බස්රථ ගණනාවකින් ලැබෙන ආදායම් පිළිබඳ විමර්ශන සිදු කිරීමට නියමිත අතර මෙම සැකකරු විසින් වෙනත් පුද්ගලයින්ගෙන් බලපත්‍ර ලබාගෙන බස්රථ ධාවනය කර ඇති අතර ඉන් ලද අදායම් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමට අවශ්‍ය ව තිබෙන බවත් ඔහු පැවසුවා.
මෙම සැකකරුගේ සමීපතයින්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බැවින් සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් එම කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය 2014 වසරේ ආරම්භ වූ විමර්ශනයක් වන අතර එතැන් සිට මේ දක්වා මෙම සැකකරු විමර්ශන වලට බාධා සිදු කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව සඳහන් කළා.
ඇප පනත යටතේ විමර්ශන සිදු වෙනවා යන කරුණ මත සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය සම්පූර්ණයෙන්ම ලේඛන මත රඳා පවතින නඩුවක් බැවින් එම විමර්ශන වලට මෙම සැකකරුට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බවත් කියා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයයට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැමිණිල්ලට ප්‍රමාණවත් කාලයක් ලබාදී තිබෙන බව පැවසුවා.
එමෙන්ම සිදුකරනු ලබන නිෂ්චිත විමර්ශනයන් ගැන අද දින වැඩිදුර වාර්තාව තුළින් කරුණු දක්වා නොමැති බැවින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අනතුරුව නඩුව ජනවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළා.




