බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 341 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම මෙහෙයුම ඊයේ රාත්‍රී 07 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

එම මෙහෙයුම සඳහා පොලීසිය, නාවික, ගුවන්, යුද හමුදා, රාජ්‍ය බුද්ධි සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 325කට ආසන්න ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 333කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා ග්‍රෑම් 395කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම නීතිවිරෝධී මත්පැන් බෝතල් 1,081ක්ද එහිදී සොයා ගෙන තිබෙනවා.