බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳ සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවට හා දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරික අපහසුතා ඇතිවන බවට හුවා දක්වමින්, ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දෙමින් මේ සම්බන්ධව විවිධ කරුණු ඉදිරිපත් කරන බවට නිරීක්ෂණය වන බවයි.

මෙය නව නීතියක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවත් 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718 ඇල ඉරක් 12 දරන ගැසට් පත්‍රය මඟින් රථවාහන ධාවනයේදී රියදුරෙකු විසින් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇති බවත් පොලීසිය පැවසුවා.

එමෙන්ම 1981 අංක 21 දරණ මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තිය ප්‍රකාරව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියදුරෙකු සෑම පැය 04 යි මිනිත්තු 30 කට වරක්ම විනාඩි 30 ක කාලයක් විවේක ලබා ගත යුතු බවට සඳහන්.

ඊට අමතරව පැය 24 කාල සීමාවක් තුළදී රියදුරෙකු පැය 10ක විවේකයක් ලබා ගත යුතු වනවා.

දෛනිකව දිවයින තුළ වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුව යළි සිහිකැඳවීමක් ලෙස ආසන පටි පැළඳීමේ නීතිය පිළිබඳව මෙලෙස රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මහජනයා නොමග යවන සුළු මෙවැනි පුවත් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තුලින් වැරදි තොරතුරු සමාජගත වනවා.

රිය ධාවනයේදී ඉහත නෛතික තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කර නියමිත පරිදි ආසන පටි පැළඳ විනයගරුක හා නීතිගරුක රියදුරන් ලෙස ක්‍රියා කර දෛනිකව වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස පොලිස් රථවාහන මූලස්ථානය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.