මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව සමස්ත ලෝකයම ඇප කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා ලෝක නායකයන්ට මෙම ඇරයුම සිදු කළා.

එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතනු ලැබුවේ ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම 12.45ට පමණයි.

එහිදී ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කළේ මෙලෙසයි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී ඇති ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද මෙහිදී ගෙන හැර දැක් වූ ජනාධිපතිවරයා, ලෝකයේ යහපැවැත්මට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට එක්වන ලෙසද ලෝක නායකයන්ට එහිදී ඇරයුම් කළා.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳව ද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වෙත සියලුදෙනා අවතීර්ණ විය යුතුව තිබෙන බවද එහිදී අවධාරණය කළා.