මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ සිටි සෙසු ධීවරයින් සෙවීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.

දෙවුන්දර ධීවර වරායෙන් රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පැවසුවේ.

එම යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරුද සොයා ගෙන තිබෙනවා.

සෙසු ධීවරයන් සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ එම ධීවර යාත්‍රාව වෙළඳ නෞකාවක ගැටී පෙරළීගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

මේ අතර බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සිට අතුරුදන් වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුරට ලක් වූ එම ධීවර යාත්‍රාව ගොඩබිමට ගොඩගසා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ අනතුරු දෙකෙන් අතුරුදන් වූ ධීවරයන් සෙවීම සඳහා හෙලිකොප්ටරයක් යොදවන්නැයි ආරක්ෂක ලෙක්ම් එච්.එස්.එස්. තුයියකොන්තා මහතා ගුවන් හමුදාවට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා ලබාදුන් උපදෙස් මත ධීවරයන් අතුරුදන් වූ මුහුදු ප්‍රදේශවල තොරතුරු ලබා ගැනීම සඳහා වයි-12 ගුවන් යානයක් ගුවන් හමුදාව විසින් පළමුව පිටත් කර හැරි බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

ඉන් අනතුරුව ධීවරයන් සෙවීමේ කටුයතු සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානය යොදවා තිබෙනවා.