1996 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු තමන්ට එරෙහිව පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන්ට සමාව ප්‍රදානය කර එම දඬුවම වසර 20 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ඒකමතිකව ප්‍රතික්ෂේප කළා.
ඒ මෙම පෙත්සම අද කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය විසින් මූලික විරෝධතා මතු කළා.
එම මූලික විරෝධතා වලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කර සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ නිසි නීතිමය කාල සීමාව ඉක්මවා යාමෙන් පසුව බව සඳහන් කර සිටියා.
ඒ අනුව ඔවුන්ගේ පෙත්සම සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දක්වූ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සතු පරම අයිතියක් බවත් එවැනි සමාවක් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටීමට පෙත්සම්කරුවන්ට නීතිමය හිමිකමක් නොමැති බවත් අවධාරණය කළා.
ඊට අමතරව පෙත්සම්කරුවන් සිය පෙත්සම් තුළින් අධිකරණය හමුවේ කරුණු වසන් කර තිබෙන අතර ඔවුන් පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණ නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වැඩි දුරටත් අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම විභාගයට නොගෙන ඒකමතිකව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 1998 වසරේ කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරුවන් කෙරුණු තමන්ට ත එම අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බවයි.
එහෙත් රජයේ විසින් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් තමන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින බවත් ඔවුන් සිය පෙත්සම් වලින් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව තමන්ට නියම කර තිබෙන දඬුවම වසර 20 ක සිර දඬුවමක් බවට පරිවර්තනය කොට දඬුවම් නියම වූ 1998 වසරේ සිට එය ක්‍රියාත්මක විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා
ඊට අමතරව තම දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
උදය කුමාර