මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි නන්ද කුමාර් ශිවානන්දන් නමැති විත්තිකරු මියගොස් සිටීම හේතුවෙන් ඔහුට එරෙහි නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුණේ මෙම විත්තිකරු සිර මැදිරිය තුළ වැටී මියගොස් සිටි බවයි.

එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය තුළ සිදුවූ ඛේදවාචකයක් පිළිබඳව තමා අද දින කරුණු දක්වන බව සඳහන් කළා.

මෙම විත්තිකරු සිර මැදිරිය තුළ වැටී මියගොස් ඇති බව බන්ධනාගාර වාර්තාවේ සඳහන් වුවද උල් ආයුධ වලින් පහර දීමෙන් ඔහුගේ මරණය සිදුවී ඇතැයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

මියගිය තැනැත්තා කොළඹ මහාධිකරණය වෙනත් නඩුවකට පෙනී සිට ඉන් පිටතට යන අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේ ඔහු සතුව මත්ද්‍රව්‍ය නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

පසුව නිවසේ මත්ද්‍රව්‍ය තිබූ බව සඳහන් කරමින් ඔහු අත්අඩංගුවට ගත්තද සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

කෙසේ වෙතත් මෙම සි.සි. ටී.වී දර්ශන ලබාගෙන පරික්ෂා කිරීමේදී ඒවා හිස්ව තිබූ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම නඩුවේ සාක්ෂිකරු විවිධ හේතු පෙන්වමින් අවස්ථා තුනකදී කට්ටි පැනීම නිසා මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වූ බවත් චෝදනා කලා.

විත්තිකරු ජීවතුන් අතර සිටියේ නම් ඔහුව නිදහස් කරන ලෙස තමා අද දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කිරීමට තමා සූදානම්ව සිටි බවත් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ ඉදිරිපත් කරන මෙම කරුණු සම්බන්ධයෙන් තමන්ට තීරණයක් ලබා දිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු අධිකරණය හමුවේ කරුණු දක්වීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව විත්තිකරු මරණයට පත්වී ඇති බැවින් මෙම නඩුව අවසන් කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා අවසානයේදී නියෝග කළා.