කොළඹ වරාය තුළ සිර වී තිබූ ආනයනික බහාලුම් පරික්‍ෂා කිරීමෙන් අනතුරුව ගබඩා පරිශ්‍ර වෙත යොමු කර ඇති බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ වරාය තුළ පැවති තත්ත්වය යම්තාක් දුරට සාමාන්‍ය අතට පත් වුවත් රජය සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමග ඉදිරියේදී නැවතත් වරාය තුළ බහාලුම් රථ සිරවීමේ අවදානමක් පවතින බවයි.

පැය 24 පුරාවටම වරාය තුළින් භාණ්ඩ නිශ්කාශනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා වැඩිදුරටත් පැවසුවේ.

දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ප්‍රමාණය ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් වරායේ බහාලුම් තදබදයක් හටගෙන තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ.

කෙසේවෙතත් ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය ඊයේ දිනය වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.