ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසනවා.
ඒ, මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් තිබෙන නව දේශපාලනික සහ සමාජයීය පරිවර්තනය අගය කළ මහ කොමසාරිස්වරයා, උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කර තිබෙනවා.
තමා මෙරට සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවයි වොල්කර් ටර්ක් මහතා සඳහන් කර ඇත්තේ.
අතුරුදන් වූවන්ගේ ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
උතුරේ සහ දකුණේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව එක හා සමාන බවත්, ඔවුන් සියලුදෙනා රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජනතා අපේක්ෂා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අදාළ ආයතන අපොහොසත් වූ බැවින්, අතුරුදන් වූවන්ගේ ගැටලුව විසඳීමට එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව තහවුරු කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තම රජය කැපවී සිටින බවයි.
රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම මේ අවස්ථාවේදී රජයේ ප්‍රමුඛ අරමුණ බවත්, පවතින අභියෝග ඉතා හොඳින් අවබෝධ කර ගනිමින් එම අරමුණ සඳහා කැපවී සිටින බවත් ජනාධිපතිවරියා පවසා තිබෙනවා.