කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීම ආරම්භ වූයේ මීට දින කිහිපයකට පෙරයි.

ඊට විසඳුමක් ලෙස කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ නිර්දේශ කළා.

ඒ, කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කර ගනිමින්.

එහෙත් දැන් යළිත් එම තීරණය සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුව සිය විරෝධය පළ කරනවා.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.

කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස කීරි සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට ගෙන ඇති තීරණය හරහා ද ගැටලු මතුවිය හැකි බවයි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ.

සහල් ආනයනය කිරීමට තීරණය කරන මේ මොහොත වන විට ගොවීන් සිය අස්වනු නෙලීම ආරම්භ කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එබැවින් දේශීය ගොවියාට නිසි මිලක් ලැබෙන පරිදි ආණ්ඩුවට මැදිහත් වීමට සිදුවනු ඇති බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ බෝගවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

වෙළඳපොල තුළ කීරි සම්බා සම්බන්ධයෙන් හිඟයක් පවතින බැවින් සහල් ආනයනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර තිබෙනවා.