හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද ද මෙහිදී අහෝසි කිරීමට නියමිත බවයි.

මෙම පනත යටතේ අතීතයේ සිටි ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි වන්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

 

මේ අතර වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබුණා.