ජපානයේ මධ්‍යම ප්‍රදේශයේ අද අලුයම ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

එහි රික්ටර් මාපකයේ ඒකක 5.7 ක් බවයි ජැපෑන් ටුඩේ ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

මෙම භූකම්පනය හේතුවෙන් අයිචි (Aichi) සහ ෂිසුඕකා (Shizuoka) යන ප්‍රාන්තවල පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ එරට වේලාවෙන් අද අලුයම 1:04 ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

ෂිසුඕකා ප්‍රාන්තයේ බටහිර දෙසින් කිලෝමීටර් 40 ක් පමණ ගැඹුරින් එහි ප්‍රභවය පිහිටා තිබු බව ද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සදහන් කළා.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් ජපානයට හෝ වෙනත් කිසිදු රටකට සුනාමි තර්ජනයක් මතුව නැහැ.

ලොව ප්‍රකට ටොයෝටා (Toyota Motor Corp) සමාගම ඇතුළු ප්‍රමුඛ නිෂ්පාදන ආයතන කිහිපයක්ම පිහිටා තිබෙන්නේ අයිචි ප්‍රාන්තයේයි.

වසර 30 කට පමණ පසු එම කලපයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බව ජැපෑන් ටුඩේ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා.

මීට පෙර අයිචි ප්‍රාන්තයට ප්‍රභලත්වය රික්ටර් ඒකක 5 ඉක්මවූ භූකම්පනයක් ඇති වී තිබුණේ 1997 වසරේදියි.

මේ අතර බලපෑමට ලක්වූ ෂිසුඕකා ප්‍රාන්තයේ හමාඕකා (Hamaoka) න්‍යෂ්ටික විදුලි බලාගාරයේ මෙහෙයුම්කරු වන චූබු ඉලෙක්ට්‍රික් පවර් (Chubu Electric Power Co) සමාගම පිහිටා තිබෙනවා.

එහෙත් භූකම්පනය හේතුවෙන් එම බලාගාරයට කිසිදු හානියක් සිදුවී නැහැ.

භූකම්පනය හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය සේවා කිහිපයක් අත්හිටුවීමට පියවර ගැනුණා.

ආරක්ෂිත පියවරක් ලෙස ඇතැම් දුම්රිය ධාවවනය කෙරුණේ අඩු වේගයකින්.

අපදා තත්ත්වය කළමණාකරනය සදහා මධ්‍යම රජය විසින් සන්නිවේදන සම්බන්ධීකරණ කාර්යාලයක්ද පිහිටුවා තිබෙනවා.

මේ අතර, ජපානයේ නිරිතදිග කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයේ ද එරට වේලාවෙන් අද පෙවරු 10:53 ට පමණ භූකම්පනයක් සිදුවූ බවයි ජැපෑන් ටුඩේ ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.3 ක් ලෙස සටහන්ව තිබෙනවා. උටෝ (Uto) සහ උකි (Uki) යන ප්‍රදේශවලට එහි බලපෑම දැනී ඇති බවයි ජැපෑන් ටුඩේ ප්‍රවෘත්ති වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජපානය යනු නිතර භූකම්පන ඇතිවන රටක්.

ද්ඉකුත් ජූලි 28 වනදා එරට කුමමොටෝ ප්‍රදේශයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක වඩාත් ප්‍රබල භූකම්පනයක් ඇති වුණා.