ඇමෙරිකාවෙන් සිදුකරන ඩීසල් අපනයන තහනම් කිරීමට තීරණය කළහොත්, යුරෝපා රටවල් සතුව පවතින ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහරින ලෙස ඉල්ලා සිටීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා.
ලෝක වෙළඳපොළේ පවතින ඩීසල් හිඟය හමුවේ මෙම පියවර ගැනීමට අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකාව තුළ ඩීසල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
එමඟින් එරට ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ඇමෙරිකානු ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
එම තීරණය ගැනීමට පෙර යුරෝපා රටවල් සතුව පවතින ඩීසල් සංචිත වහාම වෙළඳපොළට මුදාහැරීමට කටයුතු කළ යුතු බවට ඇමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් ද අවධාරණය කර තිබෙනවා.
ඇමෙරිකාව දිනකට ඩීසල් බැරල් ලක්ෂ 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අපනයනය කෙරෙනවා.
මෙම අපනයන තහනම ක්‍රියාත්මක වුවහොත් ජාත්‍යන්තර වශයෙන් ඩීසල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් ද පෙන්වා දෙනවා.
මේ අතර ඇමෙරිකානු අපනයන තහනමක් හමුවේ මුහුණදීමට සිදුවන තත්ත්වය පිළිබඳව බි්රතාන්යය ඇතුළු යුරෝපා රටවල බලශක්ති අමාත්‍යවරුන් ද මේ වන විටත් විශේෂ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




