ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි කත්මණ්ඩු හි පිහිටි නේපාල අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එරට අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා හමු වී සාකච්ඡාවක නිරත විය. මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ මාර්ග මෙන්ම දෙරටටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය.
ඉන්දීය විදේශ ලේකම්වරයා දෙදින නිල සංචාරයක් සඳහා නේපාලයට පැමිණ ඇති අතර, අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා ගේ ඉදිරි ඉන්දීය සංචාරයට අදාළ කරුණු සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම හමුවට පෙර, වික්‍රම් මිස්රි නේපාල විදේශ ලේකම් අම්රිත් බහදූර් රායි සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පසුබිම් කරගනිමින්, දෙරටටම පොදු වූ කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනිණි.
මීට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛනාල් සහ මුදල් අමාත්‍ය ස්වර්ණිම් වාග්ලේ ද හමු විය. එමෙන්ම බලශක්ති අමාත්‍ය බිරාජ් භක්ත ශ්‍රේෂ්ඨ සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සුනිල් ලම්සාල් සමග ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ආර්ථික, බලශක්ති, යටිතල පහසුකම් සහ සන්නිවේදන සබඳතා යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.
ඉන්දියාව සහ නේපාලය අතර ඓතිහාසික, සංස්කෘතික මෙන්ම සමීප ජනතා සබඳතාවක් පවතින අතර, දෙරටම වෙළඳ, යටිතල පහසුකම්, බලශක්ති සහ සංවර්ධන සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක එක්ව කටයුතු කරමින් සිටියි.



