ඉරානයේ ‘පිකැක්ස් මවුන්ටන්‘ නමැති දැඩි ලෙස ආරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ඉදිරියේදී පහරදෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තර්ජනය කර තිබෙනවා.

ඉරානයේ පවතින නිරීක්ෂණ කටයුතු හමුවේ ඉතා ඉක්මනින්ම අදාළ ස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, ඕනෑම ආකාරයක ප්‍රහාරයකට හෝ ගැටුමකට මුහුණ දීමට තම ගුවන් ආරක්ෂක බලකායන් සූදානමින් සිටින බව ඉරාන ගුවන් ආරක්ෂක සේනාධිනායක බි්‍රගේඩියර් ජෙනරාල් අලිරේසා එල්හාමි ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මේ අතර, ගාසා තීරයේ අර්බුදයට ඇති එකම විසඳුම එහි වෙසෙන පලස්තීන ජනතාව වෙනත් ප්‍රදේශවල නැවත පදිංචි කරවීම හෝ ඉවත් කිරීම බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායල් කැට්ස් කළ ප්‍රකාශය ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පලස්තීන ජනතාව ගාසා තීරයෙන් පිටුවහල් කිරීමේ කිසිදු සැලසුමකට වොෂින්ටන් පාලනය සහාය නොදක්වන බවයි.