ඇමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ඇමෙරිකාව ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉරාන ඉස්ලාමයීය විප්ලවීය ආරක්ෂක බලකායේ ඉලක්ක ගණනාවකට මෙලෙස පහර දුන් බවයි ඇමෙරිකානු මධ්‍යම විධානය හෙවත් ‘සෙන්ට්කොම්‘ ආයතනය පවසන්නේ.

ඉකුත් අගහරුවාදා ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු කඳවුරුවලට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාර එල්ල කළා.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසුවේ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරකට සහ අණදෙන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි.

ඊට අමතරව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් අනාරක්ෂිත ලෙස ගමන් කළ තෙල් නැව් තුනකට ද හෝමුස් සමුද්‍ර සන්ධියේදී පහර දුන් බව ඔවුන් පැවසුවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාර සාර්ථක නොවූ බවයි අමෙරිකාව ප්‍රකාශ කළේ.

ඉරානය විසින් එල්ල කළ සියලුම මිසයිල ගුවන් අවකාශයේදීම විනාශ කළ බව සෙන්ට්කොම් ආයතනය පැවසුවා.

එසේ තිබියදීයි අමෙරිකානු හමුදා දැන් නැවත ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ රාත්‍රී පැයක පමණ කාලයක් තිස්සේ ඉරාන ඉලක්ක වෙත අමෙරිකානු ප්‍රහාර එල්ල වූ බව BBC ප්‍රවෘත්ති සේවය පවසනවා.

ඉරානයේ හමුදා අණදෙන මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන පහසුකම්, වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ සමුද්‍රීය මධ්‍යස්ථාන මෙම ප්‍රහාරවලට ඉලකක් වූ බවයි BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් පැවසුවේ.

මෙම ප්‍රහාරයට පෙර අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ - පහර දීමේ වාරය දැන් අමෙරිකාවට ලැබී ඇති බවයි.

ඒ අනුව ඉරානයට ඉතා දැඩිව පහර දෙන බව ද ඔහු පැවසුවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අදහස් පළ කළේ ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින්.

පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී මෙම යුද්ධය සති කිහිපයකින් අවසන් වන බව ජනාධිපති ට්‍රම්ප් පැවසුවත්, එය මේ වන විට මාස පහක් පුරා ඇදී යමින් පවතිනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අපේක්ෂාවෙන් පසුගිය දින කිහිපය පුරා දෙපාර්ශවයම ප්‍රහාර නවතා දමායි තිබුණේ.

ට්‍රම්ප් එය ”ඉතා මිත්‍රශීලී සාකච්ඡා” ලෙස හැඳින්වුවත්, ටෙහෙරානය දිගින් දිගටම ඒ බව ප්‍රතික්ෂේප කළා.

මේ අතර, ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ද ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් 20 දෙනෙකු පමණ මියගිය බවයි පැවසෙන්නේ.

මෙම ප්‍රහාර ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බව ඉරාක රජය ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් මෙම ප්‍රහාර එල්ල කළේ ඉරාක රජයේද සම්බන්ධීකරණය සහිතව බවයි.